Saturday, December 3, 2016

පිටසක්වල ජීවීන් දිඹුලාගල ගලේ කෙටූ සංඥා අක්ෂර

 පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග සම්බන්ධ විය හැකි සංඥා දොරටුවක් අතීතයේදී ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටුවා තිබූ බව පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇත.
අඩි 1500ක් ඉහළ දිඹුලාගල පර්වතයේ ඉහළම ස්ථානයක මේ සංඥා දොරටුව සහිත වූ ගල්ලෙන පිහිටා තිබේ. කුඩා මිනිසකුට ඇතුළුවීමට හැකිවන පරිදි සකස් කොට ඇති මේ ගුහාව තුළ අඩි 20x10 ප්‍රමාණයේ ගල් පුවරුවක මිනිසුන්ට හඳුනාගැනීමට නොහැකි විවිධ සංඥා සටහන් කොටා ඇත.

වසර දහස් ගණනක් පැරැණි බව පෙන්නුම් කෙරෙන මේ සංඥා පුවරුවේ මිනිස් රුවක් ද දැකගන්නට ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු පර්යේෂකයකු මේ ගල්ගුහාව තුළ නිරීක්ෂණයක් සිදුකොට නොමැති බව පැවසෙන අතර, අතීතයේදී කිසියම් කාලයකදී මනුෂ්‍යයින් නොවූ “දේව” කොටසකගේ සම්බන්ධයක් තිබූ බවට මෙයින් පැහැදිලි වන බව පර්යේෂකයන්ගේ මතයයි.
මේ ගල්ගුහාව පිහිටි ස්ථානය සොයා යෑමේදී මුලින්ම දැකගන්නට ලැබෙනුයේ විශාල ගල් පර්වතයක මාර්ග සලකුණුය. එවැනි මාර්ග සලකුණු ගල් මත සටහන් කර තිබූ ස්ථාන 3ක් දැකගන්නට ලැබේ.

විශාල ගල් දෙබොක්කාවක් යටින් රිංගා, ගස් වැල්වල එල්ලී දුෂ්කර ලෙස මේ ගල් ගුහාව කරා ගමන් කළ යුතු විය. මේ ස්ථානයට පැමිණි විට පහත් බිම් ප්‍රදේශ දැකගන්නට ලැබේ.
අසල බිම පරීක්ෂා කිරීමේදී ‍මෙතෙක් හඳුනාගෙන නොමැති සංඥා අක්ෂර රැසක් දැකගන්නට ලැබේ. අඩි 2ක් පමණ වූ සිදුරකින් යුත් මේ ගල් ලෙන තුළ මිනිසකුට කෙලින් ගමන් කිරීමට අපහසුය. මහත් ආයාසයකින් බඩගාමින් ඒ තුළට රිංගාගත යුතුය.

විශාල ගලක් තුළ මෙවැනි ගුහාවක් නිර්මාණය කිරීමද මිනිසුන්ට සිදුකළ නොහැකිය. එසේම ඒ තුළ විශාල ප්‍රමාණයේ ගල් පුවරුවක් නිර්මාණය කොට ඒ මත සංඥා අකුරු හා සිතුවම් කරවීම පුදුම උපදවන සුළුය.
මේ ගල් කුල තුළ බොහෝ වේලාවක් ගත කිරීම පවා බියජනකය. කිසිදු ආලෝකයක් නොමැති මෙහි සංඥා පුවරුවේ ඡායාරූප ගැනීම පවා ඉතා දුෂ්කරවිය. මේ සංඥා පුවරුවේ සටහන් කොට ඇති සංඥා තේරුම් ගැනීමෙන් පසු පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට හැකිවූ බව මේ ස්ථානයට ගිය පර්යේෂකයින්ගේ මතයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්දේගම උපවංශාලංකාර හිමි - මම 2000 වසරේ සිට මේ දිඹුලාගල පර්වතය මුදුණේ පිහිටි විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.
පර්වතය මුදුනේම පිහිටි විශාල ගලක් තුළ මේ කියන ගල්ගුහාව පිහිටා තිබෙන්නේ. මේ තුළට කිසිවෙකුටවත් ඇතුළුවීමට නොහැකියි. යටින් රිංගා බඩගාගෙන යන්න ඕනෑ. ඇතුළට ගියවිට ගල්පුවරුවක් දැකගන්න පුළුවන්. එහි විවිධ සංඥා සහ දේවරූපයක් කොටා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.
මේ පිළිබඳව මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර තිබුණේ නැහැ. මේ තොරතුරු අප දැනගෙන තිබුණත් ඒවා පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් මේ ගල් ගුහාව තුළ කිසියම් ගුප්ත බලවේගයක් පවතින බව පැහැදිලියි.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී විවිධ වර්ණයන්ගෙන් යුත්, ආලෝකධාරා මේ පර්වතය මතට පැමිණ අතුරුදහන් වනවා. පසළොස්වක පොහෝ දිනවලදී නිල්පාට ආලෝක ධාරා රාත්‍රී 9 පසුවීමත් සමඟ දැකගන්නට පුළුවන්.
උපුටා ගන්න ලදී

No comments:

Post a Comment